Thursday, June 28, 2012

අතීතාවර්ජනය

සාමාන්‍යයෙන් බොහෝ අයෙකුට තමන්ගේ ළමා විය ඉතාමත් සුන්දරයි.ආයෙමත් පොඩි කාලයට යන්න තියෙනවනං කවුරුත් අකමැති වෙයි කියල මමනං හිතන්නෙ නෑ.ගොඩක් අය තමන්ගේ ළමා වියට ඒ තරම්ම කැමතියි.හැබැයි මගේ ළමා විය සුන්දරද අසුන්දරද කියන්න තාම මටවත් හිතාගන්න බෑ.සමහරක් විට මම ලියන දේවල් බ්ලොග් එකකට කොච්චර සුදුසුද යන්න මට තේරෙන්නෙ නෑ.ඒ උනත් මගෙ ජීවිතයේ සිදුවුනු වැද්ගත් සිදුවීම් ලියන්ඩනං මේ සෑම දෙයක්ම ලියන්න වෙනව.ඒක නිසා ඕන දෙයක් කියල හැම දෙයක්ම කෙටියෙන් ලියල දානව.
                   මම පොඩි කාලෙ ඉදන්ම වැඩිපුරම හිටියෙ කිරි අම්මලගෙ ගෙදර.කිරි අම්ම අදටත් කියනව උඹ මව් කිරිවලට වැඩිය බොන තරමක් බිව්වෙ හරක් කිරි කියල.ඒ කියන්නෙ මම කිරි බොන කාලෙ ඉදන්ම හිටියෙ කිරි අම්ම ලග කියල.ඒක නිසාම අපේ දෙමාපියෝ මොනවගේ පවුල් ජීවිතයක් ගත කලාද කියන්න මට ලොකු මතකයක් නෑ.කොහොම උනත් ලොකු මල්ලි හම්බෙනකනුත් පොඩි මල්ලි හම්බෙනකනුත් එයාල සතුටුන් ඉන්න ඇති කියල මට හිතෙනව.මොන හේතුවක් හින්දද දන්නෑ මට වයස නමයක් වගෙ වෙනකොට එයාල පදිංචි වෙලා හිටපු තැනින් අයින් වෙලා කිරි අම්මලගෙ ගේත් එක්කම හදපු පොඩි ගේ කෑල්ලකට පදිංචියට ආව.එදා ඉදන් මමත් ඒ ගොල්ලන් එක්ක හිටියෙ.මමත් ඉතින් ලොකු ආශාවකින් හිටියෙ දෙමාපියොත් එක්ක ඉන්න.අන්තිමට මේ මොන කරුමයක්ද කියල හිතුන.ආපු දා ඉදල මට මතක ඇති හැම දවසකම වගේ එයාල රන්ඩු වෙනව.රන්ඩුවෙනව කියන්නෙ බැනගන්නව විතරක් නෙමේ.අතින් පයින්, වළං, හට්ටි මුට්ටි, වලිනුත් රන්ඩු වෙනව.ඒක අපේ පොඩි හිත් වලට දරාගන්න බැරිතරමට කරදරයක් උනා.එයාලට ඒක ගානක්වත් උනේ නෑ.

තාත්ත ගෙදර හොර අරක්කු විකුනන්න පටන් ගත්තෙ ආපු දා වගෙ ඉදල. මට හිතෙන හැටියට රන්ඩුවෙන්න ඒකත් හෙතුවක් උනා.කොහොමහරි ඔහොම රන්ඩු වෙවී අවුරුද්දක් එකාමාරක් විතර හිටිය.ඔන්න ඉස්සෙල්ලාම වාගේ තාත්ත ගෙදරින් තරහ වෙලා ගියා.අපේ පාසල් ගමනත් එතනින් නතර උනා.ඒ ගිහින් ටික දවසකට පස්සෙ ආයෙමත් තාත්ත ආව.ඇවිල්ල පෙරටත් වඩා රන්ඩු.කොහොම හරි අන්තිමට මතක දවසෙ ඒ දෙන්න හොදටම රන්ඩු උනා.අම්ම තරහ වෙලා පහුවදා උදේම පොඩි මල්ලිවත් අරගෙන ගෙදරින් ගියා.එදා රෑම අපිට කිරිඅම්මලගෙ ගෙදරින් ඉන්න කියල තාත්තත් ගියා.මම හිතුවෙ අම්මව එක්කන් එන්න ගියා කියල.ගියා ගියාම තමයි අයෙ ආවෙ නෑ.අපි කිරිඅම්මලගෙ ගෙදරට වෙලා දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ගෙන හිටිය.ඊට මාස තුන හතරකට පස්සෙ තාත්ත රෑක ඇවිල්ල මාවයි ලොකු මල්ලිවයි එක්කන් ගියා.අපිව එක්කං ගියෙ උළු මෝලක්  ඇතුලෙ තියෙන පොඩි ගෙදරකට.අප්පට සිරි ගේ ඇතුලට යනකොට ගෑනු කෙනෙකුයි තව චූටි ළමයෙකුයි ඉන්නව.මගෙ පොඩි හිතට යාන්තමට වගෙ තේරුනා වෙලා තියෙන දේ.තාත්තත් කට හදල කිව්ව මේ ඉන්නෙ ඔයාලගෙ චූටි මල්ලි කියල.අපිත් ඔළුව වනල නිකන් හිටිය.ගෑනි නෝ කතා නෝ සිනා.අපි ආවට කැමති නෑ වගෙ.මාසයක් විතර හිටිය ඒ වෙනකුනුත් ගෑනි අපිත් එක්ක හරියට කතා කෙරුවෙ නෑ.මාසයකට විතර පස්සෙ තාත්ත කිව්ව ඔයාල ඉස්කෝලෙ යන්නත් ඔනනෙ ඒ හින්ද ඔයාලව ඔයාලගෙ මාම කෙනෙක් ගාවට ගිහින් දානව එයා අපිව ඉස්කෝලෙ යවල හොදට බලා ගනියි කියල.මම හැමතිස්සෙම ඇවිල්ල ඔයාලට අවශ්‍ය බඩුත් අරගෙන බලල යන්න එන්නං කියල.අපිත් ඉතින් මොනව කියන්ඩද බිම බලාගෙන හිටිය.අපි දැනගෙන හිටිය අපි මුකුත් කිව්වට එයාල අහන්නෑ කියල.

ඔන්න ඉතින් පහුවදාම අපේ තිබුනු ඇදුන් ටිකත් සොපින් එකකට දාගෙන පුට් බයිසිකලේ අපිව දාගෙන ආව.ආවෙ ලොකු පොල් වත්තක් ඇතුලෙ තියෙන පොඩි ගෙදරකට.ගෙදර හිටියෙ මාමයි නැන්දයි එයාලගෙ පුතයි දුවයි විතරයි.ගියාට පස්සෙ අනේ ලස්සන කොලු පැටව් දෙන්න කියල අපිව සාදරයෙන් පිලිගත්ත.ඊට පස්සෙ ටික වෙලාවක් ඉදල  අපිව බාර දීල තාත්ත මොන හිතකින් ගියාද දන්නෑ කොහොම හරි ගියා යන්න.අපි දෙන්නට රෑට කන්ඩත් දීල පැදුරකුයි කොට්ට දෙකකුයි දීල අපිට සාලෙන් නිදා ගන්න කියල කිව්ව.අපිත් ගොඩාක් හිතේ අමාරුවෙන් එදා දවසෙ නිදා ගත්තෙ.ඔන්න උදේ නැගිට්ටට පස්සෙ නැන්ද ආව.ඇවිල්ල අපිට හොද දේශනයක් දුන්න.මටනං එවෙලෙම එහෙන් යන්න හිතුන.දේශනයක් කියන්නෙ දවසෙ අපි දෙන්නගෙ වැඩ කොටස පහදා දීමක් තමයි සිදු වුනේ.උදේ නැගිට්ට ගමන් වත්තෙ පොල් ටික අහුලන එක,එලවළු පාත්ති වලට වතුර දාන එක,එළුවො හරක් බදින එක ආදී වැඩ රාශියක් අපිදෙන්නට පැවරුව. වෙනකරන්න දෙයක් නෑ. මට හිතුන එයාල කියන විදිහට වැඩක් කරගෙන ඉන්න එක තමයි ඇගට ගුණ කියල.එදා ඉදන් මාස කීපයක් ජීවිතයේ අමරුම කාල පරිච්ඡේදයක් තමයි ගෙවුනෙ.ඔක්කොටම හපන් ඒ නැන්ද බයින්න ගත්තාම.මාමනං සද්දයක් නෑ.එයා නැන්දට බයයි.ඔහේ බලාගෙන ඉන්නවා.ඊට හපන් අර කොල්ලයි කෙල්ලයි පොඩ්ඩ මොනා හරි වැරදුනොත් අම්මට කියනවා එක දෙක කරල.ඊට පස්සෙ ඉතින් දවසෙම බැනුන් තමයි.ඔහොම මාසයක් දෙකක් විතර හිටිය.තාත්ත ආවෙත් මාසයකට වගේ සැරයක්. ඒ ආපුවාම අපි කියනව අපිට මෙහෙ ඉන්න බෑ අපිව එක්කන් යන්න කියල එයා බලමු කියල කියනව විතරයි.වෙන කරන්න දෙයක් නැතිකොට අපි ලොකු මෙහෙයුමක් දියත් කරන්න කතා කරගත්ත.අපේ අවසාන තීරනය උනේ මෙහෙන් හොරෙන් පැනල යන එක.මට දවසකට දෙපාරක් තුන්පාරක් කඩේ යන්න වෙනව.ඒක නිසා මුදලාලිත් මාව හොදට අදුරනව.මම මුදලාලිගෙන් මේ පාරෙන් කොහටද යන්නෙ අර පාරෙන් කොහටද යන්නෙ අහවල් තැනට කොහොමද යන්නෙ කියල හිමීට අහගත්ත.මල්ලිටත් කිව්ව ඇදුන් දෙක තුනක් සොපින් එකකට දාල තියා ගන්න කියල.තාත්ත ආපු දවසක අතේ වියදමට කියල සල්ලි ටිකකුත් ඉල්ල ගත්ත.ඔන්න දවසක් කොල්ලයි කෙල්ලයි ඉස්කෝලෙ ගියා.මාමත් වැඩට ගියා අපේ වෙලාවටද කොහෙද නැන්ද ටිකක් දුරින් තියෙන ඒ ගොල්ලන්ගෙ නෑදෑ ගෙදරක ගියා.අපිට හොද වෙලාවක් ආපු එකෙන් අපි දෙන්න ඇදුන් ටිකකුත් අරගෙන ගෙදරින් පැන්න.අර මුද්ලාලිගෙන් අහ ගත්තු ව්දිහට් අපි පයින් ගොඩාක් දුර ආව.එහෙම එනකොට ප්‍රදාන පාරක් හම්බුනා.අපි එතනින් කුලියාපිටිය බස් එකක නැගල කිරි අම්මලගෙ ගෙදර ආව.

කිරි අම්ම හොදටම බය වෙලා කාත් එක්කද ආවෙ කියල ඇහුව.අපි තනියම ආවෙ කියල මුළු විස්තරයම කිව්ව.කිරි අම්ම තාත්තටයි අම්මටයි දෙන්නටම හොදටම බනිනව.අපිට කිරි අමලගෙ ගෙදර ආවට පස්සෙ ලොකු නිදහසක් දැනුන.යාළුවොත් එක්ක සෙල්ලං කර කර මාස කීපයක් එහට වෙලා හිටිය.අපිට අද තේරෙන විදිහට එදා නොතේරුනත් එයාලට අපිව බලාගන්න තිබුනු අග හිගකම් නිසාද කොහෙද අපි දෙන්නව බාර දෙන්න පන්සල් දෙකක් හොයල තිබුන.ඉස්සෙල්ලාම මාව පන්සලට බාර දුන්න.පස්සෙ මල්ලිවත් වෙන පන්සලකට බාර දීල තිබුන.කොහොම උනත් එදා පන්සලට ආවගෙන් මට යම් තාක් දුරට හෝ ඉගෙන ගන්නත් ලැබුන, සමාජය ගැන ලොකු අවබෝදයක් ලබා ගන්නත් පුලුහං උනා.අවුරුදු නමයක් වැනි කාලයක් මම පන්සලේ ජීවත් වුනු අතර උසස්පෙළ ලියල ජොබ් එකකුත් හොයාගෙන පන්සලෙන් අයින් වුනා.ඊට පස්සෙත් විවිධාකාරයේ රැකියාවන් ගනනාවක් කරපු මම අද කොළඹට වෙළා ජීවත් වෙනව.ඔබ මේ වන තෙක් කියවූවෙ මගෙ ජීවිත කතාව බොහොම කෙටියෙන්.එදා සිට අද දක්වා මට මේ ජීවිත කාලයෙ අපුරු සිදුවීම්, අපූරු හමුවීම්, විවිධ විදියෙ අත්දැකීම් ගණනාවක් අන්තර්ගතයි.මගේ කතාව ඉදිරියට කියවූහොත් ඔබට ඒ සියල්ල රසවිදීමට හැකියාව ලැබෙනු ඇත.