Wednesday, May 2, 2012

මූලාරම්භය

බොහෝ දෙනා ජීවිතය යන්නට විවිධ විධියේ අර්ථකතන ලබා දෙනවා.ඒ අය එම අර්ථකතන හෝ අදහස් ප්‍රකාශ කරන්නේ තමන්ගේම ජීවිතය දෙස බැලීමෙනූයි කියායි මට සිතන්නේ.මොකද වෙන අයෙකුගේ ජීවිතය කොයි වගේද යන්න කියන එක ඔවුන් නොදන්නා  නිසා.එහෙයින් ඒ හැම අර්ථකතනයක්ම හෝ අදහසක්ම සෑම අයෙකුටම අදාල නොවන බව මට සිතේ.එක් එක් අය මුහුණ දුන් ජීවිතය විවිධා කාරවේ.ඒ විවිධාකාර ජීවිත අතරින් මා මුහුණ දුන් ජීවිතයද බොහෝ වෙනස් එකකි . දුක සතුට බලාපොරොත්තුවලින් පිරුනු ඒ ජීවිතයේ විශේෂ සිදුවීම් බ්ලොග් කියවන ඔබ වෙනුවෙන් හා මාගේ සන්තුශ්ටිය උදෙශා ලියා දැක්වීමයි මාගේ අදහස .එමෙන්ම  මා කතා ලිවීමෙහි දක්ෂයෙකු හා පලපුරුදු අයෙකු  නොවන හෙයින් මෙහි සිදුවන අඩුපාඩු වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනවා.ඒ වගේම මේ සදහා මා දිරිමත් කල හා මග පෙන්නු ගයාන් බාලසූරිය හා ගයනි බාල සූරිය යන අයද විශේශයෙන් මතක් කල යුතු වෙනවා.
කොලඹින් මදක් දුරස් වු කුලියාපිටිය මගෙ උපන් ගම වේ.ඒ අවට වු පාසල් තුනකම අද්‍යාපනය ලැබුව.විවිධ විධියෙ රැකියා ගණනාවක්ම කල මා මේ වෙනකොට කොලඹ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක සාමාන්‍ය රැකියාවක් කරමින් ජීවත් වෙනවා.කොලඹ නගරය දැන් බොහෝ හුරු පුරුදු වුවත් ඉස් ඉස්සෙල්ලාම කොලඹ ආ දිනවල මට සිදු වු සිදුවීමක් සම්බන්දව මුලින්ම  ලියන්ඩ කියල මට හිතුන.




ඔන්න දැන් උසස්පෙළ ලියල ජොබ් එකක් හොය හොයා ඉන්න කොට පන්සලේ හමුදුරුවො කිවුව
 "මම දන්න මහත්තයෙක් කොළඹ සම්පත් බැන්කුවේ වැඩ කරනව එයාට කියල ජොබ් එකක් හදල දෙන්න බලන්නං"
 කියල.ඒ කියල සතියක් ගියෙත් නෑ හමුදුරුවො කිව්වෙ නැතෑ ඔන්න මම අර මහත්තයත් එක්ක කතා කලා CV එකකුත් අරන් සහතිකත් අරන් ඉන්ටවීව් එකට අහවල් දවසෙ කොළඹ එන්න කිවුව කියල.අනේ මමත් ඉතින් මොකක් උනත් බැංකුවක ජොබ් ඒකක් නෙ කියල තිබුනු එකම හා හොදම සුදු කමිසයයි(ලන් වෙලා බැලුවොත් විතරයි පැල්ලම් පේන්නෙ ) කලු කලිසමයි ඇදගෙන තිබුනු ඔක්කොම සහතිකත් දාගෙන පාන්දරම කොළඹ  එන්ඩ පිටත් උනා.කොහොමහරි කොළඹින් බහිද්දි 8.30 ට විතර ඇති.හාමුදුරුවන්ගෙන් පාරත් අහගෙන කොළඹ ආවට මොකද තනියම ආපු මුල් වතාව හින්ද්ද මන්ද මම කොහට යන්නද කියල හිතාගන්න බැරිව  අන්ද මන්ද වෙලා හිටියෙ.මගෙ වෙලාවටම කොළඹ වැඩ කරන ගමේ අයිය කෙනෙක් ආපු බස් එකේම ඇවිල්ල යනව දැක්ක.මම එයාගෙන් ඇහුව
" මට අහවල් තැන තියෙන සම්පත් බැංකුවට යන්න ඕනා කොහමද යන්න ඕනා" 
 කියල.අනේ මිනිහ මාව බස් එකේම එක්කන් ඇවිත් බහින්න ඕන තැන පෙන්නුව.   මමත් මිනිහට හදවතින්ම ස්තූතියි කියල බස් එකෙන් බැස්ස.කොළඹ ආපු පලවෙනි වතාව වගේම ඉන්ටවීව් එකකටත් යන පළවෙනිවතාව හින්ද පොඩ්ඩක් බයවෙලා හිටියෙ.පොඩ්ඩක් කියන්නෙ මොකද අම්බානෙටම බය වෙලා හිටියෙ.දැන් ඉතින් ආපු වැඩේ  කර ගන්නත් එපෑ කියල හිතට වීරිය අරන් ගිය ඇතුලට.ඔන්න ඇතුල් වෙන තැනම සාරි ඇද ගත්තු ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් හිටිය. මම අහුව 
"ඉන්ටවීව් එකකට ආවේ මිස් කොහාටද යන්න ඕන"
 කියල.කිසිම කළබලයක් නැතිව  හතරවෙනි තට්ටුවට යන්න කියල ලිෆ්ට් එක දිහාට අත දික් කරල කිව්ව. මගෙ ජීවිතෙ ගොඩක් දේවල් පළවෙනි වතාවට වෙනව වගේම දෙයියනේ කියල ලිෆ්ට් එකකත් යන පළවෙනි වතාව උදා උනෙත් එදාම තමයි.  මම ලිෆ්ට් එක ලගට ගිහින් වට පිට බැලුව පේන්න කවුරුවත් නෑ. මේකෙන් කොහොමද යන්නෙ කියල කලපනා කර කර ඉන්නකොට දෙයියො බැලුව වගෙ අවුරුදු පනහක විතර අයිය කෙනෙක් ආව ලිෆ්ට් එකේ යන්න.මම එයාට ඉඩ දීල පොඩ්ඩක් සයිඩ් උනා.සයිඩ් වෙලා මිනිහ මොකද කරන්නෙ කියල බලා ගෙන හිටිය.බට්න් එක ඔබල ටික වෙලාවකින් දොර ඇරුන. මමත් ඒ පස්සෙන්ම ගියා ඇතුලට.මිනිහ බට්න් ඔබන දිහා බලන් ඉදල මට තේරුන යන්න ඕන තට්ටුවෙ අංකෙ තමයි ඔබන්න ඔන කියල.මමත් හතර එබුව.   ලිෆ්ට් එක අදාල තැනට ඇවිත් දොර ඇරුන.මම එළියට ඇවිත් බැලුව පේන්න කවුරුත් නෑ.ටිකක් දුර යනකොට කොටට කොටේ ඇද ගත්තු ලස්සන මිස් කෙනෙක් එනව.මම එයාගෙන් ඇහුව
" මිස් මම ඉන්ටවීව් එකකට ආවෙ  කොහටද යන්න ඕන"
 කියල.ඒ මිස් කොච්චර හොදයිද කියන්නෙ මාව කාමරෙ ගාවටම එක්කං ගිහින් කිව්ව මේකෙ තමයි ඉන්ටවීව් එක තියෙන්නෙ කියල පෙන්නල එයා ගියා.මම පොඩි මැනස් එකකටත් එක්ක දැන්ම දොරට පොඩි තට්ටුවක්.ඇතුලෙන් කමින් කිව්ව.මමත් සියලු පුරුෂ ශක්තිය අරගෙන යාන්තම දොර ඇරල ඔළුව පොඩ්ඩක් දැන්ම ඇතුලට.අප්පටසිරි එතොකට තමයි මට තරු විසිඋනේ.ඇතුලෙ ඉන්නව මුකුත් නෑ සාරි ඇද ගත්තු ලස්සන කෙල්ලො ටිකකුයි ටයි දා ගත්තු කිරිපාටට කොල්ලො ටිකකුයි.ඊට ඉස්සරහින් තව මහත්තුරු හතර දෙනෙකුත් හිටිය.මට දැන් දාපු ඔළුව ආපහු ගන්න බැරි කමටම ගියා ඇතුලට.එතන හිටපු ඔක්කොම මගෙ දිහා බලන් ඉන්නව.මට තේරුනෙ මහියංගනෙන් ආපු වැද්දෙක් දිහා  බලනව වගෙ මගෙ දිහා බලන් ඉන්නව වගෙ.මම කිව්ව
 "ඉන්ටවීව් එකට ආවෙ සර්"
 කියල.ඉංග්‍රීසියෙන්ම කිව්ව ඇවිත්  ඉද ගන්න කියල.මමත් හිමීට  ගිහිල්ල ෆයිල් එක දාගෙන ආපු ඉටි බෑග් එකත් පැත්තකින් තියල ඉදගෙන හිටපු අයගෙන් පිටිපස්සෙන්ම ඉද ගත්ත.දැන් ඉතින් ඉස්සරහ හිටපු මහත්තුරු හිටපු කොල්ලො කෙල්ලන්ගෙන් ප්‍රස්න කර කර ඉංග්‍රීසියෙන්  කියවනව.මට කියන දේවල් තේරුන්නැති එකට වඩා මගෙනුත් මොනව හරි අහයි කියලයි මම බයේ හිටියෙ. මගෙ වෙලාවටද කොහෙද මුකුත් ඇහුවෙ නෑ.ඊට පස්සෙ ටික වෙලාවකින් ඒක එක්කෙනා ලගට අරන් මොනවදෝ අහල ආපහු ඉදගන්න කියනව.ඔන්න දැන් මගෙ වාරෙ.ඉතිරිවෙලා තිබුනු පුරුෂ ශක්තියත් අරගෙන විලි ලැජ්ජාවෙනම ගියා ඉස්සරහට. සර් කාරය මගෙ ඉහේ ඉදල කකුල් දෙක වෙනකන්ම බැලුව.මමත් පාත් කර ගත්තු ඔළුව් උස්සන්නෙ නැතිව බිම බලාගෙනම හිටිය.ඊට පස්සෙ ඉංග්‍රීසියෙන් බස බස ගාල කියවගෙන ගියා.කියපු දෙ මට යාන්තමට වගේ තේරුනා.ටයි එකක් දගෙන ආවෙ නැත්තෙ ඇයි කියලයි ඇහුවෙ.මම මුකුත් කියන්නෙ නැතිව බිම බලාගෙනම හිටිය.පස්සෙ කිව්ව මොකද්ද මහත්තෙයෙකුගෙ නමක් කියල එයාගෙන් ටයි එකක් ඉල්ලන් දාගෙන එන්ඩ කියල.හොදට ඉංග්‍රීසි තේරෙන එකා වගෙ කියපු සැනින් මම එලියට ආව.එළියට එනකොටම ඉස්සෙල්ල හම්බුනු කොටට කොටේ ඇද ගත්තු මිස් මෙන්න එනව තේ බන්දේසියකුත් අතේ තියාගෙන.මම බැලුවෙ යකඩෝ තේ ගෙනියන අය මෙහම ඉන්නවනං අනිත් අය කොහොම ඇතිද කියල. මම මිස් කෑල්ල පැත්තකින් තියල ඇතුලෙ සර් කියපු නම කියල අක්කෙ එයා කොහෙද ඉන්නෙ කියල ඇහුව.එයත් ඉස්සෙල්ල වගේම එක්කන් ගිහින් පෙන්නුව මෙයා තමයි කියල.මම ඒ පෙන්නපු සර්ට කිව්ව මම මේ ඉන්ටවීව් එකකට ආවෙ මට ටයි එකක් ගේන්න බැරි උනා ඇතුලෙන් කිව්ව සර්ගෙන් ඉල්ල ගන්න කිව්ව කියල.පස්සෙ එයාගෙ ලාච්චුවෙ දාල තිබුනු ටයි එකක් ලෝබ නැතිව දුන්න මට දාගන්න කියල .මම ඒකත් අරන් ආපහු කාමරයට යන්න ආව.ඒ ආවට මොකෝ දැන් තමයි  ලොකුම ගැටළුව සිදුවුනේ.ටයි එක අරන් ආවට ඒක ගැට ගහන්න දන්නෑනෙ. වට පිට බැළුව පේන්න ක්වුරුවත් නෑ.දැන් මාර ගැටළුව ටයි එක දාන්න අහගන්න කවුරුවකුත් නෑ.කවුරුහරි දැක්කොත් විලිලැජ්ජාවෙ බැරි නිසා මම ගියා ටොයිලට් එකක් ඇතුලට.ඇතුලට ගිහිල්ල කොහොමහරි ට්‍රයි කරල කරලා ගැටයක් දා ගත්ත(හැබැයි මම පහුවෙලයි දැන ගත්තෙ මම දාගෙන තියන්නෙ ගෑනු ගැටේ කියලා).ටයි එකත් දගෙන මම ආපහු ගියා ඉන්ටවීව් එක තියෙන කාමර ඇතුලට.ඒ ගිහින් ඉදගත්ත විතරයි ආයෙ මට කතා කෙරුව.මට තේරුනා මම දැන් හොදටම නෝන්ඩි වෙලා තියෙන්නෙ ආයෙ ඒකෙ හදන්න දෙයක් නෑ කියල.මම පරාද උන මූනින්ම ආයෙ ගියා ඉස්සරහට.මට ඉද ගන්න කියල ඉංග්‍රීසියෙන් කියවගෙන කියවගෙන ගියා.මං මටම කියල හදා ගත්තු අබිමානය ඒ අවස්තාවෙ හේදිලම යන්න ගියා.මම දන්න ඉංග්‍රීසියෙන් උත්තර දෙනකොට මට වැඩිය ඉංග්‍රීසි කතා කරන්න බෑ කියල මිනිහට තේරුන.පස්සෙ සිංහලෙන් කතා කෙරුව.මම කිව්ව අපේ හාමුදුරුවො අදුනන මහත්තයගෙ නම කියල එයා මට ඉන්ටවීව් එකකට එන්න කියල තියෙනව ඒ නිසයි මම ඉන්ටවීව් එකට ආවෙ කියල විස්තරේ කිව්ව.ඊට පස්සෙ තමයි කිව්වෙ 
"ඔයා මෙතන ඉන්ටවීව් එකට නෙමේ ඇවිල්ල තියෙන්නෙ ගිහින් අහවල් කාමරේ ඉන්න මහත්තයව හම්බෙන්න"
 කියල.මමත් සියල්ල සිද්ද වෙන්නෙ හොදටයි කියල ආපහු ගියා අර කියාපු මහත්තය ගාවට.එයා මට ඉද ගන්න කියල සහතිකත් ටිකත් බලල  මගෙන් සියළු විස්තර ඇහුව.මගෙ වෙලාවට එයා සිංහලෙන් කතාකෙරුව.නැතිනං එතනත් ලෝක අමාරුවක වැටෙනව. ඊට පස්සෙ හමුදුරුවො ගැනත් විස්තර අහල එයා කිව්ව මට කෝල් එකක් දෙන්නං කියල.මම ගොඩක් ස්තුතියි කියල ආපහු එන්ඩ ආව.ඒ එන ගමං දාගෙන හිටපු ටයි එකත් ගලවල අයිතිකාර මහත්තයට දීල එයාටත් ස්තූති කරල මම එන්ඩ ආව.ඔන්න දැන් මම ආපහු එන්ඩ ඔනෙත් ලිෆ්ට් එකෙන්.මාර පරාජය තමයි පොඩ්ඩක් එහාට මෙහාට ගිහින් බැලුව බහින්ඩ පඩි පෙලකුත් නෑ.වට පිට බැලුව පේන්ඩත් කවුරුත් නෑ.දැන් ඉතින් කරන්න දෙයක් නෑ ඕන දෙයක් වෙන්න කියල පහලට යන්න බට්න් එබුව.ඕං ටික වෙලාවකින් පෙර පරිදිම දොර ඇරුන.   මම ඇතුලට ගිහින් දැන් මම පහලටනෙ යන්න ඕන කියල අන්තිම බට්න් එක එබුව.දොර වැහිල ටික වෙලාවකිං ආපහු දොර ඇරුන.මමත් වීරය වගෙ එළියට ඇවිත් බැලුව අප්පට සිරි යන්න තැනක් නෑ හැමතැනම කාර් නවත්තල.මොකක් හරි වැරද්දක් උනා තමයි කියල ආපහු ගියා හිටපු තට්ටුවටම.එතනින් එළියට ඇවිත් බැලුව කවුරුත් පේන්න නෑ.ආපහු ලිෆ්ට් එක ඇතුලට ගිහින් ආයෙ එබුව අන්තිම බට්න් එක.මාර කේස් එක තමයි ආයෙ ඇවිල්ල තියෙන්නෙ අර කාර් නවත්තල තියෙන තැනටමයි.මොන මගුලකද මේක කියල එතනින් එළියට ඇවිත් ටිකක් ඇවිදල බලනකොට උඩට යන්න පාරක් හම්බුනා.එතනින් උඩට එනකොට මෙන්න බොලේ මම එළියට ආව.මම අන්තිම මොහොතෙත් දෙවියන්ට ස්තූති කරල එතන හිටපු ත්‍රිවිල් කාරයෙකුගෙන් පාර අහගෙන කොටුවට ඇව්ත් එහෙම්ම ගමට ආව.හැබැයි අද වෙනකුනුත් තාම සම්පත් බැංකුවෙන් කෝල් එකක් නෑ.