Thursday, July 26, 2012

පළමු කඩයිම

අද ඉස්කෝලයකට ළමයෙක් ඇතුලත් කළ දවසේ ඉදල ලොකු තරගයක් තියෙනව.මම මේ කියන්නෙ ඉස්කෝලයකට දා ගන්න තියෙන තරගයෙන් දිනුවට පස්සෙ තියෙන තරග ගැන. කොහොම හරි කරල පාසලකට ළමයෙක් ඇතුළත් කළායින් පස්සෙ ඒ ළමයට  පාසලෙන් ඉවත් වෙනතාක් එක එක කඩයිම් වලට  මුහුණ  දෙන්න  සිදුවෙනව.ඒ අතරින් ඉස් ඉස්සෙල්ලාම මුහුණ දෙන ප්‍රධානතම  කඩයිම තමයි ශිෂ්‍යත්වය විභාගය.අද ළමයි ශිෂ්‍යත්වය විභාගයට මුහුණ දෙන්න වෙන මහන්සිය හරිම පුදුම හිතෙනව. දෙමාපියනුත් ළමයිනුත් දිවා රෑ නොබලා වෙන මේ මහන්සිය දැක්කාම මමත් දෙයියනේ කියල මගෙ පළමු කඩයිමට මුහුණ දුන් හැටි මට මතක් වෙනව.බ්ලොග් කියවන ඔයාල වෙනුවෙනුත් ඒ කතාව කියන්න කියල මට හිතුන. බ්ලොග් ලිවීමට ආදුනිකයෙක් නිසාවෙන් මෙහි සිදුවන අඩුපාඩු වෙනුවෙන් මම පෙර පරිදිම සමාව ඉල්ලා සිටිනව.
මා මීට පෙර ඇතුලත් කළ ලිපි මේ වෙනකොට කියවා ඇතිද යන්න මම දන්නෑ.කියවා ඇතිනං මෙම කතාව හොදින් රසවිදීමට එය රුකුලක් වේවි.
කතාව මෙන්න මෙහෙමයි.මම කිරි අම්මලගෙ ගෙදරින් අයින් උනේ දෙමාපියෝ එහෙ ස්ථීර පදින්චියට ආවට පස්සෙ(මේ පිළිබද විස්තර පෙර ලිපියෙ සදහන්ව ඇත ).එතකොට මට වයස 11 ක් විතර ඇති.ඉදල හිටල ඉස්කෝලෙ ගියත් ෆේල් නොවී පහ වසරට වෙනකනුත් ආව.මට කියන්න බැරු උනු තව දෙයක් තමයි මම පොඩි කාලෙ ඉදන්ම කිරි අම්ම ලග හිටිය වගේම අපේ තාත්තගෙ නංගිගෙ දුව, මට නෑ කමට අක්ක, එයත් හිටියෙ කිරි අම්මත් එක්ක එයාලගෙ ගෙදර.අපේ මව් පියන්ගේ සදාකාලික වෙන් වීමට කලින් එයාගෙ තාත්ත විතරක් එයාගෙන් සදාකලික වෙන්වෙලා හිටිය.ඒ උනට ඒයාගෙ අම්ම අපේනං නැන්ද එයාව හොදින් බලා ගත්ත.අක්කගෙ අනාගත අභිවුර්ධිය තකා නැන්ද රට ගියෙ අපි ගොඩක් පොඩි කාලෙදිමයි.මම මේ කියන්න යන කතාව සිද්දවෙන කාලෙදි ඔය රට ගිහිල්ල හිටපු නැන්ද ලොකු තෑගි බෝගත් සමග ගෙදර ඇවිල්ල හිටිය.


අපේ ආදරණීය දෙමාපියන්ගේ දිවා රෑ නොබලා සිදුවන ද්වන්ධ සටන් වල ප්‍රේක්ෂකයන් වෙලා හිටි අපි ඉස්කෝලෙ ගියෙ අපිට හිතුන දවස්වල විතරයි.පන්තියෙ භාර මිස් ඇතුලු ගුරු භවතුන්ගෙ තර්ජනාත්මක දිරි ගැන්වීම් මද්‍යයේ පන්තියේ වැඩ කටයුතු යාන්තමින් කරගෙන ගියත් ගෙදර තිබු උනුසුම් වාතාවරණය හමුවේ ඉස්කෝල ගමන මාසයක සැරයකට පමණ සීමාවීමක් උනා.ඔන්න දවසක් මම සුපුරුදු පරිදි හීල් කෑමෙන් පස්සෙ පාසල් නොයන මගෙ අතිජාත මිත්‍රයන් හොයාගෙන යන්න ලෑස්ති වෙමින් හිටිය.මහ වැස්සක පෙර නිමිති පෙන්නමින් ගේ ඇතුලෙ පොඩි චුරු චුරු සද්ද වගයකුත් තිබුන.ඔය අතරෙ අපේ රට ගිහින් ඇවිල්ල හිටපු නැන්ද ගේ දොරකඩට ඇවිල්ල අයියෙ අයියෙ කියල හයියෙන් කතා කරනව ඇහුන.තාත්ත ඉක්මනට එළියට ගියා මොකද්ද කියල බලන්න. මමත් යන්න ගිය ගමන පැත්තකින් තියල  ගියා බලන්න ඉතිරිවෙච්චි චෝකලට්වත් දෙන්නද දන්නෑනෙ කතා කරන්නේ කියල.මොන චොකලට්ද තාත්තට හොද දේශනයක් දෙන්න පටන් ගත්තෙ නැතෑ.
මාව මූලික කරගත් ඒ දෙශන මාලාවේ මූලාරම්භයවෙලා තියෙන්නෙ රේඩියෝවෙ විකාශනය වෙලා තියෙන නිවුස් එකක්.එ වෙන මොකක්වත් නෙමේ "මෙවර පහ වසර ළමුන්ගේ ශිෂ්ශත්ව විභාගය හෙට ආරම්භ වේ"කියල තමයි කියල තියන්නෙ.අයියෝ මගෙ අනාගතේ.නැන්ද බයිනව තොපි දෙන්න උදේ ඉදන් රෑ වෙනකන් රන්ඩු වෙනව මේ ළමයිගෙ ඉගෙනීම ගැන පොඩ්ඩක්වත් හිතන්නැද්ද,උබල ඉගෙනෙ ගත්තෙ නැති එකේ මේ ළමයිටවත් උගන්නපල්ලා,ළමයි ගැන හොයල බල පල්ලා ආදී වු වාග් ප්‍රහාර රැසක් එල්ල කරගෙන ගියා.
තාත්ත මගෙ දිහා කන්න වගේ බලනවා තෝ දන්නැද්ද යකෝ කියනව වගේ.මම දැන ගත්ත අද ඉතින් මට ගුටි පෝරියල් එක තමයි කියල.මම විභාග කවද්ද කියල දැන ගන්න මම ඉස්කෝලෙ යන්න එපැයි.ඉස්කෝලෙ මිස්ලනං විභාගෙ ගැන නිතරම කියවනව.මම ඉතින් ඕව වැඩිය ගනන් ගත්තෙ නෑ."මේ කොල්ලව හෙට විභාගෙට යවන්න ලෑස්ති කරපල්ල"කියල අවසාන වශයෙන් කියල නැන්ද යන්න ගියා.මාර පරාජය තමයි. දැන් ඉතින් විභාගෙට ගිහිල්ල මොනා ලියන්නද.ඔන්න දැන් අපේ දෙමාපියො මාගේ විභාගය මුල් කර ගෙන නැවතත් පුරුදු සටන ආරම්භ කිරීමට ගියත් අවසානයේ වාග් ප්‍රහාර වලට පමනක් සීමා උනේ මගෙ වාසනාවට.අම්මත් සියළු වැඩ පැත්තකින් තියල මගේ ඉස්කොල ඇදුන් හෝදල වෙලෙන්ඩ එහෙම දැන්ම.ගෙදරින් එළියට යෑම තහනං උනු අතර පාඩන් කිරීම මගේ කාර‍ය්‍ය භාර‍ය්‍ය වි‍ය.මට ඉතින් අවුලක් නෑ පඩං කරන්න දේවල් තියෙන්න මම ඉස්කෝලෙ යන්ඩ එපැයි.
ඔන්න ඉතින් පහුවදා උදේම අම්ම නැගිටල උදේට කන්න කිරිබත් උයල දෙයියනේ කියල මාව විභාගෙට යවන්න ලෑස්ති කරල තිබුන.මම හොදල තිබුනු යුනිෆෝම් එකත් ඇදල කිරි කොකා වගෙ ලෑස්ති උනා.
මම වෙනුවෙන් ලෑස්ති කරල තිබුනු කිරිබතත් රස විදල දෙමාපිය ආශිර්වාදයත් අරගෙන වීරය වගේ එළියට ආව .අපේ ගේත් එක්කම තියෙන කිරි අම්මලගෙ ගෙදර ගිහින් තත්තගෙ උපදෙස් පරිදි නැන්දටයි කිරිඅම්මටයි වැදල අපි යන්න පිටත් උනා.තාත්ත මුලින් ගියා එයාගෙ ස්පෝට් බයිසිකලෙත් තල්ලු කරගෙන.මම පස්සෙන් ගියා.ටික දුරක් යනකොට පුතේ කියනව වගේ සද්දයක් ඇහුන.මම පස්ස හැරිල බලනකොට නැන්ද දුවගෙන එනව.හා හා ආපහු හැරෙන්න එපා කියා ගෙන ලගට ඇවිත් මට මේක තියා ගන්න කියල රුපියල්100 ක් දුන්න.මට මාර හැපි.හැමදාම විභාග තියෙනවනං හොදයි කියල හිතුන.ම්ම මගින් මගට කෝකටත් බැළුව එක රුපියල් 100 ක් මද කියල.
දැන් පාර ගාවට ඇවිත් තාත්ත මාව බයිසිකලේට නග්ග ගන්න ලෑස්ති වෙන ගමන් මගෙන් ඇහුව නැතෑ කොහෙද ඔය විභාගෙ තියෙන්නෙ කියල.මාර කේස් එක මම දන්නෙත් නෑ විභාගෙ කොහෙද තියෙන්නෙ කියල.මට බැන බැන මාව බයිසිකලයට නග්ගගෙන අපේ ඉස්කෝලෙ ගාවට ආව. විභාගෙ නෙමේ මොනා ලියන්නත්  තියෙන තැන දැනගෙන ඉන්න එපැයි.තත්ත මාව බයිසිකලේ ගාව තියල ඉස්කොලෙ ඇතුලට ගියා විස්තර දැනගෙන එන්නං කියල.විභගෙ තියෙන තැන විතරක් නෙමේ මගෙ විභගෙ අංකෙත් ඉල්ලං ඇවිල්ල තිබුන.තව පොඩ්ඩෙන් විභාගෙ ලියන්න යන්නෙ අංකෙත් නැතිව.ඔන්න ආයෙමත් මාව බයිසිකලේ තියාගෙන විභාගෙ තියෙන ඉස්කෝලෙට යන්න පිටත් උනා.ටිකක් දුර යනකොට තාත්ත ආයෙමත් මගෙන් ඇහුව එන ගමන් නැන්ද කතා කරල මොනාද දුන්නෙ කියල.මම කිව්ව රුපියල් 100 ක් දුන්න කියල.මෙන්න එයා මගෙන් ඒක ඉල්ලනව එයාට දෙන්න කියල.අයියෝ මම රුපියල් සීයට හදා ගත්තු සිහින ඔක්කොම එකින් එක කඩා වැටෙන ගමන් මම සාක්කුවෙන් අරන් එයාට සල්ලි දෙන්න හිතාගෙන සාක්කුවට අත් දැන්ම.අයියෝ සල්ලි.මගෙ සාක්කුවෙ තිබුනු සල්ලි  නෑ.මම දෙලොව රත් වෙලා කලිසම නොගලවා හෙව්ව ඔහෙ නෑ.තාත්ත දන්න සියළු අභිධර්ම ගාථා වලින් දෙසන්න ගත්තෙ නැතෑ.දැන් අපිට කරන්න ආපු වැඩෙත් අමතක වෙලා සල්ලි හොයනව.ඇයි අප්ප නිකන් හම්බුනු සල්ලිනෙ.මට වඩා දුකයි තාත්තට.හවසට කසිප්පු කාලක් ගහන්න හිතාගෙන වෙන්නැති හිටියෙ.හොද වැඩේ.එයා උත්සාහය ඇතඇරිය නෑ.

මාව බයිසිකලයට නග්ගගෙන ආපහු ගියා සල්ලි වැටිලද කියල පාර බලන්න.එක පාරක් ගියා එක පැත්තක් බලාගෙන අනිත් පාර ගියා අනිත් පැත්ත බලාගෙන.සල්ලි නෑ.මොනව කරන්නද තාත්තත් මට බනිනව මමත් මටම බැන ගන්න ගමන් ආපහු ගියා විභාගෙ තියෙන ඉස්කෝලෙට.දැන් ඉතින් මොන විභාගද.තත්තට ආපහු යන් කියන්නත් හදල ඒකටත් මටමනෙ බැනුන් අහන්න වෙන්නෙ කියල හිත හදාගෙන ගියා ඉස්කෝලෙ ඇතුලට.යනකොට විභාගෙ පටන් ගන්න ළමයි ඉදගෙන.තාත්ත එතන හිටපු මිස්ට කියල මාව ඇතුල් කෙරෙව්ව.එන ගමන් යාළුවොත් එක්ක පාරෙ අයින් වෙලා එන්න කියල එයා ගියා.අවසානයේ මම සාර්ථක අන්දමින් හා නිදි කරමින් මම මගෙ පළමු කඩයිමට මුහුණ දුන්න.
ඔයාල දැන් හිතනව ඇති මගෙ විභගෙ ප්‍රථිපල කොහොම ඇතිද කියල.ඇත්තම කියනවනං ඒක අද වෙනකනුත් මමවත් දන්නෙ නෑ.මොකද මට ඊට පස්සෙ මගේ ඒ ආදරණීය පාසලට ආපහු යන්න හම්බුනේ නෑ.